සුරංග ලක්මාල්ගේ ලස්සන බිරිඳ සුරංගගේ විශිෂ්ට පන්දු යැවීමේ රහස ගැන කියයි

පරාජයේ නියං සමයට සමු දී ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම යළි ජයග‍්‍රහණයේ වසන්තය කරා පියවර තබන බැව් දක්නට ලැබේ. වෙසෙසින්ම පසුගියදා ප‍්‍රබල ඉන්දීය පිල පරදා ලද විශිෂ්ට ජයග‍්‍රහණය සඳහන් කළ හැකිය.

වාර්තා අතරට ගිය එම තරගයේදී සුරංග ලක්මාල්ගේ විශිෂ්ට පන්දු යැවීම ශ්‍රී ලංකාව ලද ජයග‍්‍රහණයේ අඩිතාලම විය. වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ
සිටින ප‍්‍රබලම වේග පන්දු යවන්නා වන සුරංග එම එක්දින තරගයේ දී ලකුණු 13 කට කඩුළු 4 ක් බිඳ දැමීය. ඊට පෙර පැවැති ටෙස් තරගාවලියේදී ද සුරංග දක්ෂතා පෙන්නුම් කළ අතර ලෝක වාර්තාවකට ද හිමිකම් කීය. මෙලෙසින් මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ දී සුරංග ලක්මාල් මේ තරමටම දක්ෂතා දැක්වීමේ රහස කුමක්ද? ඒ ගැන ඔහුගේ ආදරණීය සුන්දර බිරිඳ දිලානි ද සිල්වා කිව්වේ මේවගේ දෙයක්.

දිලානි කොහොමද ඉතින් ?

ගොඩාක් සතුටුයි. ඒ වගේම සැමියා ගැන බොහොම ආඩම්බරයක් තියෙන්නේ. ශ්‍රී ලංකාවට දැන් ජයග‍්‍රහණය අත්‍යාවශ්‍ය සමයක්. ඉතින් ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් එයාට හැකි උපරිමය කරන්නට ලැබීම ගැන හිහතමානීව ආඩම්බර වෙනවා.

දිලානි අපි අතීතයට යමු. සුරංග හමු වු අතීතය ගැන කිව්වොත්?

එතකොට එයා ශ්‍රී ලංකා ඒ කණ්ඩායමේ සාමාජිකයෙක් වුණා. තරගාවලියකට ගිහින් යළි පැමිණ සිටි දිනවල ගාල්ලේ පැවැත්වු සැහැල්ලූ පන්දු තරගාවලියකට පැමිණ සිටියා. එයා මගේ මල්ලිගෙ යාළුවෙක්ගෙ යාළුවකු බව එදා දැන ගත්තා. එදයින් පසුව එයා අපේ මල්ලිගෙන් අහලා පසුව මා එක්ක කතා කළා. මට කැමතියි කියලා එයාගේ හිතේ තිබුණු අදහස කිව්වා. මාත් ඒ වන විටත් එයාට කැමති වෙලා හිටියෙ. ඒක හරියට දෛවෝපගත සිදුවීමක් වගෙයි. ඒත් මම අම්මගෙන් ගෙදරින් ඇවිත් අහන්න කිව්වා. ඔන්න ඔය විදියට තමයි අපේ සම්බන්ධය ඇති වුණේ. 2008 දී එයා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට තේරුණා. පාකිස්ථානයේ පැවැති ඒ තරගාවලියේදී තමයි ශ්‍රී ලංකා පිල ත‍්‍රස්ත ප‍්‍රහාරයකට ලක් වුණේ. අපි එදා හරි බය වුණා. ඒ විදියට ගෙවී ගිය කාලයේදී 2009 වෙද්දී අපි විවාහ ගිවිස ගත්තා. 2010 දී උත්සවය ගත්තා.

ඔහු කෙරෙහි ඔබට හිත ගිය හේතුව?

හරිම නිහතමානී චරිතයක්. හරි හොඳ කෙනෙක්. ඒක මට දැනුණා. එයා එයාගේ අම්මා තාත්තා නංගිට වගේම මගේ අම්මා තාත්තාටත් මගේ අයියා අක්කා සහ මල්ලිලා දෙන්නාටත් හරිම ආදරෙයි. ඒක අපට හදවතින්ම දැනෙන දෙයක්.

සුරංග පසුගිය කාලයේ එතරම් දක්ෂතා දැක්වුයේ නැහැ. ඒ වගේ අවස්ථාවලදී ඔහු මොනවද ඔබ එක්ක කිව්වේ?

තරගයකදී විකට් ගන්න බැරි වුණාම එයාට හරිම දුකයි. ඒ වගේ අවස්ථාවලදී මම එයාගෙ හිත හදනවා. ඔයාට විකට් ගන්න බැරිවුණාට කමක් නෑ. කණ්ඩායම වෙනුවෙන් උපරිමය කරන්න කියලා මම එයාට කියනවා. සෑම තරගයකදීම එක විදියට විකට් ගන්න බැහැනේ කියලා මම හිත හදනවා.

නමුත් දැන් මේ දිනවල වාර්තා තබමින් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙනවා. මොකද්ද මෙහි රහස?

කිසිම රහසක් නැහැ. ඒකට හේතුව එයාගේ කැපවීමයි. එයාගේ කෑම බීම ගැන පවා එයා වඩා සැලකිලිමත් වෙනවා. විශිෂ්ට කැප කිරීමකින් පුහුණු වීම්වල යෙදෙනවා. මම දකින විදියට රහස එයයි.

එදා ලකුණු 13 ට විකට් 4 ක් ගත්තාම ඔබට ඇති වු හැඟීම?

මේ තරගාවලිය නරඹන්න අපි ඉන්දියාවට ගියේ නැහැ. ගෙදර ඉඳලා ටී.වී. එකෙන් නැරඹුවේ. ඇත්තම කියන්න එදා මට වචන පිට වෙන්නෙ නැති තරමට ලොකු සතුටක් ඇතිවුණා. එදා තරගයේදී වීරයා වුණෙත් එයා. තරගය හමාර වු විගස අපට කතා කළා. වීඩියෝ දුරකථන පහසුකම් ඔස්සේ අපි ඒ සතුට බෙදා ගත්තා. අපට ඉතින් එයා නැතුව පාළුයි. එයාටත් එහෙමයි. නිතරම මායි පුතයි එක්ක ඉන්න තමයි එයා ආසා.

සැමියකු ලෙස ඔහු කොහොම කෙනෙක්ද?

ආදරණීය සැමියෙක්. මට සහ පුතාට හරිම ආදරෙයි. පුතාගේ වයස අවුරුදු 3 යි. බිරිඳකට ලැබිය යුතුව උතුම් ගති ඇති සැමියෙක්. ඒ නිසා මට මා ගැන නිහතමානී අඩම්බරයක් තියෙන්නේ.

එයාගේ චරිත ස්වභාවය ගැන කතා කළොත් ?

විවේකය අඩුනිසා විවේකයක් ලැබුණු විගස නින්දට හරිම කැමතියි. හරියට අනුන් ගැන හිතන කෙනෙක්. කාගෙවත් හිත් රිදවන්න කැමැති නැහැ. තරාතිරම නොබලා එයා උදව් කරනවා. ඒ වගේම අනුකම්පා කරනවා. දෙන දේ දෙන්න ආයේ දෙපාරක් ඒ ගැන හිත හිතා ඉන්නේ නැහැ.

සංචාර ගිහින් එනකොට දිලානිට තෑගි බොහෝමයක් අරන් එනවලූ නේද?

ඉස්සර නම් මට තමයි වැඩිපුර ගෙනාවෙ. දැන් නම් බබාට ගේන්නේ. මමම තමයි කිව්වේ මට ගේනවා නම් ගේන්න ඕනෑ විදිය.

මොකද තෑගි ගොඩාක් එයා ගෙනැල්ලා දෙන්න ආසයි. අපරාදෙනෙ. එහෙම ගේන්නේ. මට අවශ්‍ය නම් මම කියන්නම් කියලා එයාට කියනවා.

දිලානි සුදු අයියේ කියලා කියන්නේ කාටද?

එයාට තමයි.

එයා ඔයාට කතා කරන්නේ?

ආදරේට ඉතින් බබා තමයි.

අද දිලානිට මොකද හිතෙන්නේ මේ තේරීම ගැන?

මේ වගේ නිහතාමනී චරිතයක් ලැබීම ගැන මොන බිරිඳද ආඩම්බර නොවන්නේ. මට හරි ආඩම්බරයි. ඒ වගේම සතුටුයි. ජීවිතේට මේ වගේ සැමියෙක් ලැබීම ගැන.

සුරංග ක‍්‍රිකට් හැර වෙන මොන වගේ ක‍්‍රීඩා වලටද වඩා දක්ෂ?

පාපන්දු ක‍්‍රීඩාවට දක්ෂයි. ඉඳහිටලා ටෙනිස් ගහන්නත් ආසයි. හැබැයි ගෙදර සිටියොත් පුතා එක්කත් ඉතින් ක‍්‍රිකට්ම තමයි.

සිංදු අහන්නත් පවුලේ කට්ටිය හැමෝම එක්ක විවේකය ගෙවන්නත් හරි ආසයි. පවුලේ කට්ටිය ඉන්නවාට එයා හරි ආසයි.

Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲
Advertainment
𝗪𝗮𝘁𝗰𝗵 𝗧𝗵𝗶𝘀 𝗩𝗶𝗱𝗲𝗼 𝗮𝗻𝗱 𝗟𝗶𝗸𝗲 / 𝗦𝘂𝗯𝘀𝗰𝗿𝗶𝗯𝗲